ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

2. එකු පොසථිකා වග්ග

4. එකාසන දායිකාපදානය

’’එකල්හි (මම) හංසවතී නගරයෙහි බාලිකාවක් වීමි. මාගේ මවද, පියාද යන ඒ දෙදෙනා කර්‍මාන්තයට ගියාහුය.

’’මම හිරු මැදහත් (ඉර මුදුන්) වේලෙහි වීථියෙහි ගමන් කරන්නාවූ ශ්‍රමණයෙකු දුටිමි. (දැක) මම අසුනක් පැණවීමි.

’’මම දික් ලොම් ඇති මහ කොඳු පලස්ද, ව්‍යාල චිත්‍ර ඇති එළු ලොම් ඇතිරිද යන මේ ආදියෙන් අසුනක් පණවා පහන් සිත් ඇත්තී, සොම්නස්වූවා මෙම වචනය කීමි.

’’හිරු මුදුනෙහි සිටියේය. භූමි තොමෝ රත්වූවා, කැකෑරී ගියාය. වාතයද නොහමත්. මෙහි (විවේකයට සුදුසු) කාලයද එළඹ සිටියේය.

’’මහාමුනීන් වහන්ස, මේ පණවන ලද ආසනය ඔබ වහන්සේ සඳහාය. අනුකම්පාව උපදවා මාගේ අසුනෙහි වැඩහිඳිනු මැනව.’’

’’මැනවින් දමනයවූ පිරිසිදු සිත් ඇති ශ්‍රමණතෙමේ එහි වැඩ හුන්සේක. මම උන්වහන්සේගේ පාත්‍රය ගෙන (කිසිවක් නොමැති බැවින්) හිස්වූ ලෙසම (ආපසු) දුනිමි.

’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

’’එහි මට මනාකොට කරණ ලද විමානය ආසනයකින්ද යුතුව මැනවින් නිර්මිත කරණ ලදී. (එය) සැට යොදුනක් උසය. තිස් යොදුනක් පුළුල්ය.

’’මම එහි රුවන්මුවාවූද, මිණිමුවාවූද, යලිදු පළිඟුමුවාවුද, පියුම්රාමිණිමුවාවූද නන් වැදෑරුම් පර්‍ය්‍යඞ්කයෝ වෙති.

’’පුළුන් ඇතිරිවලින් හා සිංහ ව්‍යාඝ්‍රාදී රූපයන්ගෙන් විචිත්‍රවූ එළුලොම් ඇතිරිවලින්ද, රන්කසුකම් කොට කිහිරි හුයින් කළ පලස්වලින් හා ව්‍යාල චිත්‍ර ඇති එළුලොම් ඇතිරිවලින්ද, එක් අතක පමණක් දාවලු ඇති එකදාය ඇතිරිවලින් හා දෙඅතෙහිම දාවලු ඇති දෙදාය ඇතිරිවලින්ද, මැනවින් අතුරනලද පර්‍ය්‍යඞ්කයෝ මට (එහි වෙති.)

’’යම් කලෙක්හි විනෝද කෙළි සහිතව ගමනක් (යාමට) සිතම්ද, (එකල්හි) උතුම්වූ පළඟ සමගම මා කැමති තැනටම යමි.

’’අසූවක් දෙව්රජවරුන්ගේ මෙහෙසිබව කෙළෙමි. සැත්තෑවක් සක්විති රජවරුන්ගේද මෙහෙසිබව කෙළෙමි.

’’මම කුදු මහත් භවයන්හි සැරිසරන්නේ මහත්වූ භෝග සම්පත් ලබමි. මාගේ භෝගයෙහි අඩුවක් නැත. එක අසුනක් පිදීමෙහි මේ විපාකයයි.

’’දෙව් අත්බැව්හිද, යලි මිනිස් අත්බැව්හිද, යන දෙ අත්බැව්හි සැරිසරමි. අන්‍යවූ භවයන් ගැන නොදනිමි. එක අසුනක් පිදීමෙහි මේ විපාකයයි.

’’කැත් කුලයෙහිද, බමුණු කුලයෙහිද යන දෙකුලයෙහි උපදිමි. හැමතන්හි උසස් කුලවතියක් වීමි. එක අසුනක් පිදීමෙහි මේ විපාකයයි.

’’මාගේ සිත තැවුලක්ද, දොම්නසක්ද (ගැන) නොදනිමි. දුර්‍වර්‍ණ බවකුදු එසේම නොදනිමි. එක් අසුනක් පිදීමෙහි මේ විපාකයයි.

’’බොහෝ කුදු ස්ත්‍රීහුද, කෙලතොළු ස්ත්‍රීහුද (හැර දොෂ විරහිත) කිරිමවුමරු මට උවටැන් කරති. (එබඳු කිරිමවුවරුන්ගේ) ඇකයෙන් ඇකයට යමි. එක් අසුනක් පිදීමෙහි මේ විපාකයයි.

’’ඇතැම් ස්ත්‍රීහු මා නාවත්. ආහාර අනුභව කරවත්. අනික් ස්ත්‍රීහු හැමකල්හි මා (ක්‍රීඩාවෙන්) සතුටු කරවත්. සමහර ස්ත්‍රීහු (මාගේ සිරුරෙහි) සුවඳ විලවුන් ආලේප කරත්. එක් අසුනක් පිදීමෙහි මේ විපාකයයි.

’’මඩුවක හෝ, රුක් මුලක හෝ, හිස් ගෙයක හෝ වසන්නාවූ මාගේ අදහස් දැන පර්‍ය්‍යඞ්කයක් එළඹ සිටියි.

’’මාගේ මේ අන්තිම (ආත්ම)යයි. අවසාන භවය පවතී. රාජ්‍යය හැරදමා අනගාර්‍ය්‍ය නම්වු සසුනෙහි පැවිදිවීමි.

’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් (ආසන) දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. එක් අසුනක් පිීමෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

මෙහි මේ අයුරින් එකාසනදායිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

එකාසනදායිකාථෙරියාපදානං චතුත්ථං.