ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

3. කුණ්ඩල කෙසී වග්ග

8. යසොධරාපදානය

’’එක් සමයෙක්හි රම්‍යවූ, සමෘද්‍ධවූ රජගහ නගරයෙහි එක් උතුම් ගිරි ගුහාවක බුදුරජුන් වැඩ වෙසෙන කල්හි

’’එම නගරයෙහි මනරම්වූ භික්‍ෂුණී අසපුවක වෙසෙන යසොධරා නම් භික්‍ෂුණියට මෙබඳු විතර්‍කයක් ඇතිවිය.

’’සුදොවුන් මහරජ තෙමේද, ප්‍රජාපතී ගෞතමී තොමෝද, ප්‍රසිද්ධවූ මහතෙරවරුද, මහත් ඎද්‍ධි ඇති ස්ථවිරාවෝද, යන ආශ්‍රව රහිත ඔවුහු පහන් සිළු මෙන් නිවනට ගියාහුම වූහ. ’’ බුදුරජුන් වැඩ සිටි කල්හිම මමද ශාන්ති පදයට යන්නෙමි’’ යි සිතා තමාගේ ආයුෂ බලන්නී, එදවස්හිම ක්‍ෂයට ගියාවූ ආයු සංස්කාරය දැක, පා සිවුරු ගෙන ගිය අසපුවෙන් නික්ම,

’’පන්සියයක් භික්‍ෂුණීන් විසින් පිරිවරන ලදුව, මහත් ඎද්‍ධි ඇත්තී, මහත් ප්‍රඥා ඇත්තී බුදුරජුන් වෙත එළඹියාය.

’’සම්බුදුරජුන් වැඳ, ශාස්තෘන් වහන්සේගේ සක් ලකුණු යුත් සිරිපා මුල එකත් පසෙක හුන්නී, මෙම වචනය කීවාය.

’’අට සැත්තෑ හැවිරිදි වයස් ඇත්තී වෙමි. අන්තිම වයස පවතී. සිරුර කුදු ගැසෙන පබ්භාර නම් අවස්ථාවට පැමිණියා වෙමි. මහා මුනීන් වහන්ස, (මෙය ඔබ වහන්සේට) සැළ කරමි.

’’මාගේ වයස මුහුකුරා ගියේය. මාගේ ජීවිතය ස්වල්පය. ඔබ හැර දමා යන්නෙමි. මාගේ පිහිට මා විසින්ම කරන ලදී.

’’අන්තිම කාලයෙහි ආයුෂ වනාහි මරණය තෙමේ වළක්වයි. මහා වීරයන් වහන්ස, අද රාත්‍රියෙහි පරිනිර්‍වාණයට පැමිණෙන්නෙමි.

’’මුනීන්‍ද්‍රයන් වහන්ස, ජාති-ජරා-ව්‍යාධි-මරණ යම් තැනෙක්හි නැද්ද, ඒ අජරාමරවූ, අසංඛතවූ, ශාන්ති පුරයට යන්නෙමි.

’’යම්තාක් පිරිස වෙත් නම් ශාස්තෲන් වහන්සේගේ සමීපයට එළඹෙත්. ඉදින් මාගේ වරදක් ඇත්නම්, මුනීන්‍ද්‍රයන් වහන්ස, සම්මුඛයෙහි ක්‍ෂමා කරන සේක්වා.

’’ඉදින් සසරෙහි සැරිසරාද, ඔබ කෙරෙහි මාගේ වරදක් වේ නම් මහා වීරයන් වහන්ස, එය ආරෝචනය කරමි. මාගේ වරදට ක්‍ෂමා වේවා.’’

’’ඇයගේ වචනය අසා මුනීන්‍ද්‍ර තෙම මෙය වදාළ සේක. ’’නිවණට යාමට ඔබට මින් මතු කුමක් කියම්ද?

’’මාගේ සසුන කරන තැනැත්තිය, ඎද්‍ධියද දක්වනු මැනව. සියළු පිරිසගේ සසුන කෙරෙහිවු සැක සිඳිනු මැනව.

ඒ යසෝධරා භික්‍ෂුණී තොමෝ බුදුරජුන්ගේ ඒ වචනය අසා එම බුදුරජුන් වැඳ මෙම වචනය කීවාය.

’’වීරයන් වහන්ස, ගිහිගෙයිදී ඔබ වහන්සේගේ බිරිඳවූ, ශාක්‍ය කුලයෙහි උපන්නාවූ, සත්‍රී අඞ්ගයෙහි පිහිටියාවූ යසෝධරා තොමෝ මම වෙමි.

’’ගිහිගෙයි ඔබ වහන්සේගේ සයානූ දහසක් ස්ත්‍රීන් අතුරෙන්, වීරයන් වහන්ස, මම සියල්ලනට අධිපතිවූ, ප්‍රමුඛ තැනැත්තිය (වීමි.)

’’රූපාචාර ගුණයන්ගෙන් යුක්තවූ, යෞවන බැව්හි සිටියාවූ, ප්‍රිය වචන කියන්නාවූ, මිනිස් දෙව් දූවරුන් වැනි සියල්ලෝ මට ගරු කෙරෙත්.

’’ශාක්‍ය පුත්‍රයන්ගේ මැදුරෙහි කන්‍යාවන් දහසකට ප්‍රධානවූ, සැප දුක් දෙක්හි සමානව වසන්නාවූ, නඳුනුයනෙහි ඒ දෙව් දුවක වැනිවූ,

’’කාම ධාතුව ඉක්මවූ, රූප ධාතුවෙහි සිටියාවූ (මට) ලෝකනායක බුදුරජුන් හැර රූපයෙන් සමානවු අනිකෙක් නැත.’’

මේ ආදිය කියා යසෝධරා තොමෝ බුදුරජුන්ගේ අනුදැනීමෙන් අහසට නැඟී නොයෙක් ඎද්‍ධීන් දැක්වූය.

’’චක්‍රවාටය සමවූ කයද, උතුරුකුරු දිවයින සමවූ හිසද, දෙදිවයින් සමවූ දෙපියාපත්ද, සිරුරින් දඹදිවද,

(මොණර) පිල දකුණු සයුරද, කුඩා පිහාටු නොයෙක් අතුද, සඳ හිරු ඇස්ද, මේරු පර්‍වතයෙන් ශිඛාවද,

චක්‍රවාට පර්‍වතය තුඩද කොට, මුල් සහිතවූ දඹරුක කම්පනය කරන්නී, බුදුරජුන් වෙත එළඹ වඳින්නීය.

’’ඇත් වෙසද, එසේම අශ්වය, පර්‍වතය, සයුරය, සඳුය, හිරුය, මේරු පර්‍වතය, ශක්‍ර වේශය (යන මේවා) දැක්වූය.

’’වීරයන් වහන්ස, මම යශෝධරා (වෙමි.) පසැස් ඇතියාණන් වහන්ස, (ඔබ වහන්සේගේ) සිරිපා වඳිමි’’ (යි කියමින්) දහසක් ලෝ දා පිපි පියුමකින් වැසූය.

’’වීරයන් වහන්ස, මම යශෝධරා (වෙමි.) පසැස් ඇතියාණන් වහන්ස, සිරිපා වඳිමි’’ යි බ්‍රහ්ම වෙසක් මවාගන නිර්‍වාණ ධර්‍මය දෙසූය.

’’මහා මුනීන් වහන්ස, ඎද්‍ධීන්හිද, දිව්‍ය ශ්‍රෝතධාතු ඥානයාගේද වශී වෙමි.

’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදිමක් නැත.

’’මහා වීරයන් වහන්ස, අර්ත්‍ථ, ධර්‍ම නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයෙහිද, මාගේ ඥානය ඔබ වහන්සේගේ සමිපයෙහිදී උපන්නේය.

’’ලොකනාථවූ බුදුවරයන්ගේ එක්වීම (කෙබඳුදැයි) ඔබ වහන්සේ විසින් මැනවින් දක්වන ලදි. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා මා (කළ) පින්කම් බොහෝය.

’’මුනීන්‍ද්‍රයන් වහන්ස, මා විසින් යම් කුශලයක් (කරන ලද නම්) මාගේ (ඒ) පෙර කර්‍මය සිහි කරන්න. මහා වීරයන් වහන්ස, මා විසින් ඔබ පිණිසම පින් රැස් කරන ලදී.

’’වීරයන් වහන්ස, නුසුදුසු තැන් අත්හැර, අනාචාරයෙන් වැළකී, ඔබ වහන්සේ පිණිස මාගේ ජීවිතය පරිත්‍යාග කරන ලදි.

’’නොයෙක් කෙළ දහස් ගණන් අයට මා (පරිවාර) ස්ත්‍රිය පිණිස දුන්නේය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහාය.

’’නොයෙක් කෙළ දහස් ගණන් අයට මා උපකාර පිණිස දුන්නේය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහාය.

’’නොයෙක් කෙළ දහස් ගණන් අයට මා භොජනය (සැපයීම) පිණිස දුන්නේය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහාය.

’’නොයෙක් කෙළ දහස් ගණන් ජීවිත පරිත්‍යාග කෙළෙමි. භයින් මිදීම ඇත්තියක් කරන්නෙමැයි (සිතා) මාගේ ජීවිතය හැරියෙමි.

’’ශරීරාවයන්හිවූ නානාවිධ අලඞ්කාර වස්ත්‍රද, බොහෝ ස්ත්‍රී ආභරණද, මහා මුනීන් වහන්ස! ඔබ වහන්සේ සඳහා නොසඟවමි.

’’මහා මුනීන් වහන්ස, ධන ධාන්‍ය පරිත්‍යාගයද, ගම්, නියම් ගම්, කෙත්, පුත් හා දූවරුන්ද පරිත්‍යාග කරන ලදී.

’’මහා වීරයන් වහන්ස, අනන්තවූ ඇත්, අස්, ගව යන මොවුහුද, පිරිවර දාසියෝද, ඔබ වහන්සේ සඳහා පරිත්‍යාග කරන ලදී.

’’යාචකයනට දනක් දෙමැ’’ යි යමක් මා සමග මන්ත්‍රණය කළේද, උතුම් දනක් දෙන්නහුට මාගේ දොම්නසක් නොදකිමි.

’’මහා වීරයන් වහන්ස, බහු විධවූ සසරෙහි නන් වැදෑරුම්වූ බොහෝ දුක අපමණව ඔබ වහන්සේ උදෙසා අනුභව කරන ලදී.

’’සැපයට පැමිණියා සතුටු නොවෙමි. දුක් පැමිණි කල්හි දොම්නස් ඇත්තීද නොවෙමි. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ පිණිස හැම තන්හි සැප දුක්ද දෙකෙහි සමව උපෙක්‍ෂක වෙමි.

’’සම්බුදුරජතෙම අනුගමනය කළ මගින් යම් ධර්‍මයක් පැතීද, මහාමුනිතෙමේ සැපද දුක් අනුභවකොට (ඒ) සම්‍යක් සම්බෝධියට පැමිණි සේක.

’’බ්‍රහ්මදේවවූ, ලෝකනායකවූ ගෞතම බුදුරජුන්ගේද, ඒ බොහෝ සෙසු බුදුවරයන්ගේද හමුවීම මට විය.

’’මහා මුනීන් වහන්ස, ඔබ පිණිස මාගේ බොහෝ පින්කම් (විය.) මම බුදු දහම සොයන්නාවූ ඔබගේ පරිචාරිකාව (වීමි.)

’’සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් පෙර ලෝකනායකවූ දිවකුරු බුදුරජතෙම ලොව පහළවිය.

’’පසල් දනව්වෙහි සොම්නස්වූ මිනිස්සු බුදුරජුන් පවරා, උන්වහන්සේ වැඩමවන මග පිරිසිදු කෙරෙත්.

’’එකල්හි හෙතෙම සුමේධ නම් බමුණෙක් විය. සියල්ල දක්නාවූ බුදුරජුන්හට දීර්‍ඝ මාර්‍ගයද පිළියෙළ කළේය.

’’එසමයෙහි මම බමුණු කුලයෙහි උපන්, නම්න් සුමිත්තා නම්වූ කන්‍යාවක් වීමි. (මෙම) රැස්වීමට(ද) එළඹියෙමි.

’’ශාස්තෲන් වහන්සේට පිදීම පිණිස උපුල් මල් අට මිටක් ගෙන (එද්දී) ජන සමූහයා මැදෙහි වැහැරි සිවුර මත හුන්නාවූ, අතිශයින් සිත්කලුවූ, මනහරවූ, ඔදවැඩුනු සිත් ඇති ඎෂිවරයා දුටිමි. දැක එකල්හි මාගේ ජීවිතය සඵලයයි සිතීමි.

’’එකල්හි ඎෂිහුගේ ඒ උත්සාහය සඵලයයි දුටිමි. මාගේ පූර්‍ව කර්‍ම (බල)යෙන් සම්බුදුරජුන් කෙරෙහි සිතද පැහැදුනේය.

’’ඔදවැඩි සිත් ඇති ඎෂිවරයා කෙරෙහි බෙහෙවින් සිත පැහැදවීමී. මහර්ෂී බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට දියයුතු අනිකක් නොදකිමි. (උපුල්) මල් දෙමි.

(මින් මල්) පස් මිටක් ඔබවහන්සේට වේවා. මාගේ ඎෂිවරයා කෙරෙහි තෙමිටක් වේවා. බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේ (ප්‍රත්‍යක්‍ෂ කළ ධර්‍මය) අවබෝධය පිණිස එම ඎෂිවරයා සමග (මාගේ අදහස්) සමවේවා.

සිව්වැනි බණවරයි.

’’එම ඎෂිතෙම මල් (තෙමිට) ගෙන වඩින්නාවූ මහත් යසස් ඇති බුදුරජුන්ට ජන සමූහයා මැදදී සර්‍වඥතාඥානාවබෝධය පිණිස පිදීය.

’’මහාවීරවූ දීපඞ්කර බුදුරජතෙමේ ජන සමූහයා මැදදී ඔද වැඩි සිත් ඇති තවුසා දැක (මෙසේ) පැවැසූහ.

’’මින් අපරිමෙය්‍ය කල්පයෙහි හෙවත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මතුයෙහි මහාමුනිවූ දීපඞ්කර බුදුරජතෙමේ මාගේ කර්‍මයද ඎජුබවද පැවසූහ.

’’මහා ඎෂිවරය, ඔබ පිණිස (කළ) මෙම කර්‍මය කරණකොටගෙන (ඇය ඔබ හා) සම කර්‍ම ඇති, සමව කටයුතු කරන සුළු තැනැත්තියක් වන්නීය. ප්‍රියවූ තැනැත්තියක්ද වන්නීය.

’’ඔහුගේ ධර්‍මයෙහි කොටස්කාරියක්වූ, මනා දැකුම් ඇති, ඉතා ප්‍රියවූ, මන වඩන්නාවූ, ප්‍රිය වචන කියන්නාවූ, ප්‍රිය ගති ඇති ස්ත්‍රියක්ද වන්නීය.

’’ස්වාමියාගේ බඩු පෙට්ටියක් යම්සේ රකිත්ද, එසේම මෝතොමෝ කුසල් දහම් රකින්නේය.

’’ඒ (අනුගාමික) ජනයෝද ඔහුට අනුකම්පා කෙරෙත්. (හෙතෙම) පෙරුම් පුරන්නේය. මැදිරිය (කූඩුව) බිඳ (නිදහස්වූ) සිංහයෙකු මෙන් සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නේය.

’’මින් අපරිමෙයවූ කපෙහි බුදුරජතෙම මට යමක් ප්‍රකාශ කෙළේද, එම වචනයට අනුව සතුටුවන්නී මම මෙසේ කරනසුළු තැනැත්තියක් වීමි.

’’එහිදී මැනවින් කරන ලද එම කර්‍මයට සිත පැහැදවීමි. දෙවි මිනිස් දෙගතියෙහි අපමණ (සැප) අනුභවකොට,

’’මම දෙවියන් අතුරෙහිද, මිනිසුන් අතුරෙහිද, (මෙසේ) සැප දුක් අනුභවකොට අන්තිම භවය පැමිණි කල්හි ශාක්‍ය කුලයෙහි උපනිමි.

’’මනා රූ ඇති, භෝග සම්පත් ඇති, කීර්තියෙන් හා ශීලයෙන් යුක්තවූ, යලි සියළු (පිරිපුන්) අඟ පසඟ සම්පත් ඇති කුලයන්හි අතිශයින් සත්කාර කරන ලද තැනැත්තෙක් වෙමි.

’’ලාභ, කීර්තිය, සත්කාරය, (අට) ලෝ දහමින් ගැටීමය යන මේවා පිළිබඳ දුක් සහිත සිතක් නැත. බියක් නොමැතිව වසමි.

’’සසරෙහි කලකිරී, අනගාර්‍ය්‍ය නම්වූ සසසුනෙහි පැවිදිවීමි. දහසක් පිරිවර සහිතව පැවිදිව කිසිත් (වස්තුවක්) නැති තැනැත්තියක් වුවාය.

’’මෙසේ ගිහිගෙය අතහැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. (පැවිදිව) අඩමසක් නොපැමිණි කල්හිම චතුස්සත්‍යාවබෝධයට පැමිණියෙමි.

’’චීවරද, පිණ්ඩපාතද, ගිලානප්‍රත්‍යයද, සේනාසනද (යන මේ සිව්පසය) සයුරට රැළ (පමුණුවන්නාක්) මෙන් බොහෝ දෙන නානාවිධව පමුණුවත්.

’’මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. (මා විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ටවිමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද ශාක්‍ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

’’මෙසේ නන්වැදෑරුම්වූ දුක්ද, නන්වැදෑරුම්වූ සම්පත්ද (විඳ) රහත් බවට පැමිණියා සියළු සම්පත් ලබමි.

’’යම් ස්ත්‍රියක් තොමෝ බුදුරජුන්ට පින් පිණිස ස්වකීය ආත්මය දේද, (ඔහුට) සහාය සම්පත්තිහු වෙත්. අසංස්කෘතවූ නිර්‍වාණපදයද වේ.

’’අතීතවූද, වර්‍තමානවූද, අනාගතවූද, මාගේ සියළු කර්‍මය ක්‍ෂය විය. බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ සිරිපා වඳිමි.

මෙහි මේ අයුරින් යශෝධරා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

යසොධරාථෙරියාපදානං අට්ඨමං.