ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

19. කුටජපුප්ඵිය වග්ග

7. එකචින්තික ථෙරාපදානය

’’යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙව්ලොවින් චුතවූයේද, එකල්හි අනුමෝදනය කරන්නාවූ දෙවියන්ගේ ත්‍රිවිධ ශබ්ද කෙනෙක් පිටව යෙත්. (කෙසේද යත්?)

’’පින්වත, මින් චුතව මනුෂ්‍යයන්ගේ සහභාවයවූ සුගතියට එනු මැනව. මිනිස්වූයේ සසුනෙහි උතුම් වූ ශ්‍රද්‍ධාව ලබව.

’’ඒ ශ්‍රද්‍ධා තොමෝ බැස ගන්නා ලද්දී, එහි හටගත් මුල් ඇත්තී, මැනවින් බිහිවෙන ලද්දී විය යතු වන්නීය. මනාකොට අවබෝධ කරණ ලද ධර්‍මයෙහි දිවි ඇතිතාක් නොපසු බටව, කයින්ද, වචනයෙන්ද, සිතින්ද බොහෝ කුසල්කොට, නිදුක්වූ (ක්ලේශොපධි රහිත බැවින්) පිරිසිදුවූ (අත් බැව් සම්පත් හා භව භෝග සම්පත් උපදනා) ඔපධිකවූ ඒ බොහෝ කුසල්ද කොට, පරිත්‍යාගයෙන් යුතුව, අනික් මිනිසුන්ද බ්‍රහ්මචරිය නම්වූ සද්ධර්‍මයෙහි පිහිටුවනු මැනව කියායි.’’

’’නුවණැති දෙවිවරු චුතවන්නාවූ දෙවියනට ’දෙව්පුරයට නැවත එනු මැනවැ’ යි කියා මෙම අනුකම්පාවෙනුදු අනුමෝදනය කෙරෙත්.

’’දිව්‍ය සමූහයා රැස්වූ එකල්හි මට සංවේගයක් ඇති විය. (කෙසේද යත්) ’මම මින් චුතව කිනම් යොනියකට (උත්පත්ති වශයෙන්) යන්නෙම්ද?’ කියායි.

’’වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙම මාගේ දුක දැන මා ඒ දුකින් ගොඩ නගනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේය. එකල්හි සුමන නම්වූ ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක තෙම අර්ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනාකොට මා සංවේගයට පත් කෙළේය.

’’මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි. ඒ ප්‍රාඥයන් වහන්සේට අභිවාදනයකොට මම එහි කළුරිය කෙළේ වෙමි.

’’එකී කුශල මූලයෙන් වෙහෙසන ලද මම එම දෙව්ලොවෙහි උපදින්නෙම් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනෙමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකචින්තික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

එකචින්තිකත්ථෙරස්සාපදානං සත්තමං.