ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

19. කුටජපුප්ඵිය වග්ග

8. තිකණ්ණිපුප්ඵිය ථෙරාපදානය

’’දෙවියෙකුවූ මම අප්සරාවන් විසින් පිරිවරන ලදුයේ, පෙර කරණ ලද කර්‍මය සිහි කොට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.

’’සිහින් මිදිමල් තුණක් ගෙන සිය සිත පහදවා විපස්සී බුදුජුන් කෙරෙහි පිදීමි.

’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රමුත්තම නම් සිධි සක්විත් රජකෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකණ්ණිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

තිකණ්ණිපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.