ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

2. එකු පොසථිකා වග්ග

1. එකු පොසථිකාපදානය

’’බන්ධුමතී නගරයෙහි බන්ධුමා නම් ක්‍ෂත්‍රියයෙක් (රජෙක්) (විය.) හෙතෙම පසළොස්වක් පොහෝ දිනයෙහි පෙහෙවෙස් විසීය.

’’මම එසමයෙහි එහි කළ (දිය අදිනා) දැස්සක් වීමි. එකල්හි මම රජු සහිත දූත පිරිස දැක මෙසේ සිතීමි.

’’රජතෙමේද රාජ්‍යය හැර දමා පෙහෙවස් විසීය. ඒකාන්තයෙන් මම (උපොසථ) කර්‍මය සඵලය. එහෙයින් ජන සමූහයා ප්‍රමුදිත විය (කියායි.)

’’(මමද) දුගී බවද, දිළිඳු බවද නුවණින් ප්‍රත්‍යවෙක්‍ෂාකොට, සිත පහදවා පෙහෙවස් විසීමි.

’’මම සම්බුදුරජුන්ගේ සසුනෙහි පෙහෙවස් කම් කොට මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙන තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

’’එහි මට මැනවින් කරණ ලද විමන උඩට යොදුනක් පැන නැංගේය. උතුම් කුළු ගෙවලින් යුක්තය. සෙනසුන්වලින්ද අලඞ්කාර විය.

’’සියක් දහසක් අප්සරාවෝ (පරිවරණය සඳහා) නිතර මා වෙත එළඹ සිටිත්. අනික් දෙවියන් (පිළිබඳ දිව්‍යානුභාවය මැඩ) හැමකල්හි බබළමි.

’’සූසැටක් දෙවිවරුන්ගේ මෙහෙසිබව කරවීමි. තෙසැටක් සක්විති රජුන්ගේද මෙහෙසිබව කරවීමි. හැම තන්හි උතුම් තැනැත්තියක් වෙමි. පෙහෙවස් විසීමෙහි මේ විපාකයයි.

’’මම රන්වන්ව භවයෙහි සැරිසරමි. සියලු තැන්හි උතුම් වෙමි. පෙහෙවස් විසීමෙහි මේ විපාකයයි.

’’හුදෙක් හස්ති යානය, අශ්ව යානය, රථ යානය යන මේ සියල්ල ලබමි. උපොසථ (කර්‍ම)යාගේ මේ විපාකයයි.

’’මම රන්මුවාවූද, රිදීමුවාවූද, යලි පළිඟුමුවාවූද, පියුමරාමිණිමුවාවූද, සියල්ල ලබමි.

’’කොසෙය්‍ය හා කම්බිලිද, කොමුපිලි හා කපුපිලිද, මාහැඟි වස්ත්‍රද යන සියල්ල ලබමි.

’’ආහාරද, පානද, කෑයුතු දෙයද, වස්ත්‍ර හා සෙනසුන්ද (යන) මේ සියල්ල ලබමි. උපොසථ කර්‍මයාගේ මේ විපාකයයි.

’’උතුම්වූ සුවඳද, මල්ද, (වත්) සුණුද, විලවුන්ද (යන) මේ සියල්ල ලබමි. උපොසථ කර්‍මයාගේ මේ විපාකයයි.

’’කුළුගෙයද, පහයද, මඩුවද, සඳළු සහිත ගෙයද, ගුහාවද (යන) මේ සියල්ල ලබමි. උපොසථ කර්‍මයාගේ මේ විපාකයයි.

’’උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. අඩමසත් නොපැමිණි කල්හිම රහත්බවට පැමිණියෙමි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත උපතක් නැත.

’’මින් (පෙර) එක් අනූවන කපෙහි වු එකල්හි යම් කර්මයක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උපොසථ කර්මයාගේ මේ විපාකයයි.

’’ඒකාන්තයෙන් යහපත් පැමිණීමක් විය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකූපොසතික භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

එකූපොසථිකාථෙරියාපදානං පඨමං.