ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

3. කුණ්ඩල කෙසී වග්ග

2. කිසා ගෝතමී අපදානය

’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්‍මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහලවිය.

’’එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුල ගෙයක උපන්නී, තථාගතයන් වෙත් එළඹ උන්වහන්සේ සරණකොට ගියෙමි.

’’මිහිරිවූ, උත්තම ආස්වාදයවූ, සසර දුක සන්සිඳීමේ සුවය එළවන්නාවූ, චතුස්සත්‍යයෙන් යුක්තවූ උන්වහන්සේගේ ධර්‍මයද ඇසීමි.

’’එකල්හි පුරුෂෝත්තමවූ (සර්‍වඥ) වීර තෙමේ රූක්‍ෂ චීවරධාරීවූ භික්‍ෂුණියක් එතදග්‍රස්ථානයෙහි තබමින් වර්‍ණනය කළ සේක.

’’භික්‍ෂුණියගේ ගුණය අසා අපමණ ප්‍රීතිය උපදවා බුදුරජුන්හට ශක්තියවූ පරිද්දෙන්, බලයවූ පරිද්දෙන් සත්කාරකොට,

’’එම බුදුරජුන් (පාමුල) වැටී එකී තනතුර පැතීමි. (ලෝක)නායකවූ බුදුරජතෙමේ එකල්හි (මතු එම) තනතුර ලැබීමේ හේතුවෙන් අනුමෙවෙනි බණ දෙසූහ.

’’මින් (මතු) සියක් දහස්වන කපෙහි ඔක්කාක වංශයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේය.

’’(තී) උන්වහන්සේගේ දහම්හි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්‍ධපුත්‍රීවූ, නම්න් ගෞතමී නම්වූ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නෙහිය.

’’එය අසා සතුටුව, එකල්හි දිවි ඇතිතාක් මෙත් සිත් ඇත්තී, (සිව්) පසයෙන් පස්මරුන් දිනූ බුදුරජුන්හට පරිවරණය කෙළෙමි.

’’මැනවින් කරන ලද එම කර්‍මය කරණ කොට ගෙනද, චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)

’’කථා කරන්නවුන් අතරින් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.

’’එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ ’’කිකී’’ නම් කසීරජතෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.

’’එම රජුගේ ’ධම්මා’ නම්න් ප්‍රකටවූ පස්වෙනි දුව වීමි. උතුම්වූ බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රුචි කෙළෙමි.

’’පිය රජ තෙම අපට නොඅනුදත්තේය. එකල්හි රාජ කන්‍යාවන්වූ, සුවසේ වැඩුනාවූ, බුදේ‍ධාපස්ථානයෙහි ඇළුනාවූ, ප්‍රමුදිතවූ දූවරුන් සත්දෙනෙකු වූ අපි ගිහිගෙහිම විසි දහසක් හවුරුදු කුමරි බඹසරෙහි හැසිරුනෙමු.

’’සමණීද, සමණ ගුත්තාද, භික්ඛුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සුධම්මාද, සත්වැනිවූ සංඝ දාසියද,

’’ඛොමාවද, උප්පලවණ්ණාවද, පටාචාරාවද, කුණ්ඩලාවද, මමද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.

’’මැනවින් කරන ලද එම කර්‍මය කරණ කොට ගෙනද, චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)

’’දැන් මේ අන්තිම භවයෙහි මම දුගීවූ, ධනය නැත්තාවූ, නටුවාවූ සිටු කුලයක උපන්නී, ධනවත් කුලයකට ගියාය.

’’ස්වාමියා හැර සෙස්සෝ මට ධන නැත්තියයයි කියත්. යම් කලෙක්හි (මම) පුතෙකු සහිත වූයෙම් නම් එකල්හි සියල්ලන්ගේ දයාව ඇත්තියක් වීමි.

’’යම් කලෙක්හි මාගේ එම ලදරු පුත් තෙමේ කොමල අවයව ඇත්තේ, සුවසේ වඩන ලද්දේ, සිය පණ මෙන් ලැදිවූයේ වේද, එකල්හි මරු වසඟයට ගියේය.

’’ශෝකයෙන් පීඩිතවූවා, බැගෑවූ මුහුණු ඇත්තී, කඳුළු (පිරුණු) නෙත් ඇත්තී, හඬන මුඛ ඇත්තී, මම මළකුණ ගෙන විලාප කියමින් ඇවිදිමි.

’’එකල්හි එක් අයෙකු විසින් දක්වන ලද්දීවූ (මම) බුදුරජුන් වෙත එළඹ, ’’පින්වතුන් වහන්ස, පුතු ජීවත් කරන්නාවූ බෙහෙත් දෙනු මැනවැ’’ යි කීමි.

’’යම් ගෙයක මළ කෙණෙක් නොවෙත්නම් එම ගෙයින් අබ ඇටයක් ගෙන එව’’ යි හික්මවීමේ උපායයෛහි දක්‍ෂවූ බුදුරජතෙම කීහ.

’’එකල්හි සැවතට ගොස් එබඳු ගෘහයක් නොලැබීමි. එබඳු ගෙයකින් (ගතයුතු) අබ ඇටයක් නම් කොයින්ද, එබැවින් මම සිහි ලැබුවා,

’’මළකුණ බැහැරදමා බුදුරජුන් වෙත එළඹියෙමි. දුරදීම මා දැක මධුර ස්වර ඇති උන්වහන්සේ මෙසේ වදාළ සේක.

’’යමෙක් තෙම උදය-ව්‍යය නොදකිමින් හවුරුදු සීයක් ජීවත් වන්නේ නම් (එයට වඩා) උදය-ව්‍යය දක්නහුගේ එක දිනක් ජීවත්වීම ශ්‍රේෂ්ඨය.

’’යම් මේ අනිත්‍යතාවයක් වේ නම් (එය) එක ගමකට පමණක් හිමි ධර්‍මයක් නොවේ. නියම් ගමකට පමණක් හිමි ධර්‍මයක්ද නොවේ. දෙවියන් සහිතවූ සකල ලෝකයටම (හිමි) මෙම (අනිත්‍ය) ධර්‍මයමැයි.’’

’’ඒ මම මේ ගාථාවන් අසා දහම් ඇස පිරිසිදු කෙළෙමි. ඒ හේතුවෙන් අවබෝධ කළ සදහම් ඇත්තී, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.

’’එසේ පැවිදිවූවා, බුදුසසුනෙහි යෙදෙන්නී නොබෝ කලකින්ම රහත්බවට පැමිණියාය.

’’බුදුසසුන කරන්නීවු (මම) ඎද්‍ධීන්හිද, දිව්‍ය ශ්‍රොත ධාතු ඥානයෙහිද වශීවෙමි. පර සිත් දනිමි.

’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආශ්‍රවයන් ක්‍ෂයකොට අති නිර්‍මලවූවා, පිරිසිදුවූවාද වෙමි.

’’මා විසින් ශාස්තෘ තෙමේ ඇසුරු කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මහත්වූ බර බහා තබන ලදී. භව තෘෂ්ණාව නසන ලදී.

’’යමක් පිණිස ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවූවාද, මා විසින් සියළු සංයෝජනයන් ක්‍ෂයකිරීම නම්වූ නොවිසිරෙන ලද එම අර්ත්‍ථය ඇත්තේද වෙමි.

’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සසුනෙහි අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභානයෙහිද, මාගේ ඤාණය මහත්ය, පිරිසිදුය.

’’කසලගොඩින්ද, සොහොනින්ද, වීථියෙන්ද, (වැරහැලි) ගෙනවුත් ඉන් රූක්‍ෂවූ සඟල සිවුරක් කොට දරයි.

’’පස්මරුන් ජයගත් බුදුරජතෙම එම රූක්‍ෂ චීවරධාරී ගුණයෙහි තුටුවූයේ (මා) පිරිස් මැදදී එතදග්‍රස්ථානයෙහි තැබූහ.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

මෙහි මේ අයුරින් කිසා ගෝතමී භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

කිසාගොතමීථෙරියාපදානං දුතියං.