ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
3. කුණ්ඩල කෙසී වග්ග
3. ධම්මදින්නාපදානය
’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝක නායකවූ, සියළු ධර්‍මයන්හි පරතෙරෙට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය.
’’එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුලයක පැණවත්වූ, සිල්වත්වූ අනුන්ගේ කටයුතු කරන්නියක් වීමි.
’’පදුමුත්තර බුදුරජුන්ගේ සුජාත නම් අගසව් තෙමේ විහාරයෙන් නික්ම පිඬු පිණිස යයි.
’’එකල්හි දිය අදින්නියක්වූ (මම) කළයක් ගෙන යන්නී, උන්වහන්සේ දැක පහන්වූවා, සියතින් කැවුමක් දුනිමි.
’’ඒ තෙමේ එහිම වැඩහුන්නේ වැළඳීය. එතැනින් හේ ගෙට පමුණුවා උන්වහන්සේට බොජුන් පිළිගැන්වීමි.
’’ඉක්බිති මාගේ ස්වාමි තෙමේ (මා) ස්වකීය යෙහෙලිය කළේය. නැන්දනිය සමග ගොස් සම්බුදුරජුන් වැන්දෙමි.
’’එකල්හි එම බුදුරජතෙම ධර්‍මකථිකවූ භික්‍ෂුණියක් පසසමින් එතදග්‍රස්ථානයෙහි තැබූහ. එය අසා සතුටුවූ මම,
’’සංඝයා සහිතවූ ලෝක නායක බුදුරජුන් පවරා මහ දන්දී එම තනතුර පැතීමි.
’’ඉක්බිති මේඝ නාදයකට බඳු මිහිරි ස්වර ඇති බුදුරජතෙම මට මෙසේ වදාළ සේක. ’’මාගේ උවටැනෙහි නිරතවූ සඞ්ඝයා සහිතව (මා) වළඳවන්නාවූ,
’’සදහම් ඇසුමෙහි යෙදුනාවූ, ගුණ වැඩිදියුණු කළ සිත් ඇති, සොඳුරුවූ තැනැත්තියත ප්‍රමුදිත වන්න. පැතුමෙහි විපාකය ලබන්නෙහිය.
’’මින් මතු සියක්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
’’උන්වහන්සේගේ දහම්හි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රීවූ, නම්න් ’’ධම්මදින්නා’’ නම්වූ බුද්ධ ශ්‍රාවිකාවක් වන්නෙහිය.
’’එය අසා සතුටුව එකල්හි දිවි ඇතිතාක් මෙත් සිත් ඇත්තී (සිව්)පසයෙන් පස්මරුන් දිනූ බුදුරජුන්හට පරිවරණය කෙළෙමි.
’’මැනවින් කරන ලද එම කර්‍මය කරණ කොට ගෙනද, චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
’’කථා කරන්නවුන් අතරින් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
’’එම රජුගේ ’සුධම්මා’ නම්න් ප්‍රකටවූ සවැනි දුව වීමි. උතුම්වූ බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රුචි කෙළෙමි.
’’(පැවිදිවීම සඳහා) පිය (රජ) තෙම අපට නොඅනුදත්තේය. එකල්හි රාජ කන්‍යාවන්වූ, සුවසේ වැඩුණාවූ, බුදේධාපස්ථානයෙහි ඇලුනාවූ, ප්‍රමුදිතවූ (එම රජුගේ) දූවරුන් සත්දෙනෙකුවූ අපි ගිහිගෙහිදීම විසිදහසක් හවුරුදු කෞමාරී බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුණෙමු.
තතියං භාණවාරං.
’’(එම සත්දෙන පිළිවෙළින් අප බුදුන් කල) ඛෙමාවද, උප්පලවණ්ණාවද, පටාචාරාවද, එසේම මමද, කිසා ගෝතමීයද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
’’දැන් මේ අන්තිම භවයෙහි උතුම්වූ ගිරිව්‍රජ පුරයෙහි සියළු සැප සම්පතින් සමෘද්ධවූ, පිරුණාවූ සිටු කුලයක උපන්නී,
යම් කලෙක්හි රූපයෙන් හා ගුණයෙන් යුක්තවූවා, ප්‍රථම යෞවනයෙහි සිටියා(වූද) එකල්හි අනික් කුලයකට (විවාහකව) ගොස් සැපතින් යුක්තවූවා විසීමි.
’’මාගේ මනා නුවණැති හිමි තෙමේ බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් අසා අනාගාමී ඵලයට පැමිණියේය.
’’එකල්හි (මම) ඔහු අනුදැන අනගාර්‍ය්‍ය නම්වු සසුනෙහි පැවිදිවීමි. නොබෝ කලකින්ම රහත්බවට පැමිණියෙමි.
’’එකල්හි ඒ උපාසක තෙමේ මා වෙත එළඹ, ගැඹුරුවූ, සියුම්වූ ප්‍රශ්ණයක් විචාළේය. මම ඒ සියල්ල විසඳීමි එම ගුණයෙහි සතුටුවූ තථාගත තෙම, ’’මහණෙනි, මෙසේ දරව්. මෙබඳුවූ අනික් ධර්‍ම කථික භික්‍ෂුණියක් නොදකිමැ’’ යි මා එතදග්‍රස්ථානයෙහි තැබීය.
’’එම ගුණයෙහි සතුටුවූ තථාගත තෙම, ’’මහණෙනි, මෙසේ දරව්. ධම්මදින්නා තොමෝ යම් සේ ප්‍රාඥ නම් මෙබඳුවූ අනික් ධර්‍මකථික භික්‍ෂුණියක් නොදකිමැ’’ යි මා එතදග්‍රස්ථානයෙහි තැබූහ. මෙසේ මම නුවණැතිවූවා, බුදුරජුන් අනුකම්පා කරන ලද්දී (වීමි.)
’’මා විසින් ශාස්තෘ තෙමේ ඇසුරු කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මහත්වූ බර බහා තබන ලදී. භව තෘෂ්ණාව නසන ලදී.
’’යමක් පිණිස ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවූවාද, මා විසින් සියළු සංයෝජනයන් ක්‍ෂය කිරීම නම්වූ පැමිණෙන ලද එම අර්‍ථය ඇත්තේද වෙයි.
’’බුදුසසුන කරන්නීවූ (මම) ඎද්‍ධීන්හිද, දිව්‍ය ශ්‍රෝත ධාතු ඥානයෙහිද වශීවෙමි. පර සිත් දනිමි.
’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදි. සියළු ආශ්‍රවයන් ක්‍ෂය කොට අති නිර්‍මල වූවා, පිරිසිදුවූවාද වෙමි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් ධම්මදින්නා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ධම්මදින්නාථෙරියාපදානං තතියං.