ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
3. කුණ්ඩල කෙසී වග්ග
5. නන්‍දා ජනපද කල්‍යාණි අපදානය
’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි (කෙළෙස් සතුරන්) ජයගත්තාවූ, සියළු දහම්හි පරතෙරෙට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය.
’’සව් සත්නට ඔවා දෙන්නාවූ, දහම් අවබෝධ කරවන්නාවූ, (සත්ත්‍වයන්) සසරින් එතර කරවන්නාවූ, දේශනාවෙහි දක්‍ෂවූ බුදුරජතෙමේ බොහෝ ජන සමූහයා සසරින් එතර කරවූහ.
’’සව්සත්නට අනුකම්පා කරන්නාවූ, කාරුණිකවූ, හිත කැමැත්තාවූ (එම බුදුරජතෙම) පැමිණි සියලු තීර්ත්‍ථකයන් පන්සිල්හි පිහිටවූ සේක.
’’මෙසේ (එම කාලය) තීර්ත්‍ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදී ගුණ ඇති, (පඤ්චවශිතාවන්ගෙන්) වශීභූතවූ, රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
’’එම බුදුරජතෙම අටපණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහපුරිස් ලකුණු ඇත්තේය.
’’එකල්හි විසි ලක්‍ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ මෙම සර්‍වඥතෙම බොහෝ ජන සමූහයා (සසරින්) එතෙර කළ සේක.
’’එකල්හි මම හංසවතී නගරයෙහි නන් රුවනින් බබලන, මහත් සැපතින් යුත් සිටු කුලයක උපන්නී වීමි.
’’එම මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ අමෘතවූ, උතුම් අස්වැසිලි දෙනසුළුවූ, පරමාර්ත්‍ථය මේයයි දන්වන්නාවූ දම් දෙසුම් ඇසීමි.
’’එකල්හි සංඝයා සහිත බුදුරජුන් පවරා පැවිදි සිත් ඇත්තී, සියතින් උන්වහන්සේට මහදන් දී,
’’සංඝයා සහිත ලෝකනායකවූ බුදුරජුන් පාමුල සිරසින් වැටී, ධ්‍යාන කරන්නාවූ භික්‍ෂුණීන් අතුරින් අග තනතුර පැතීමි.
’’එකල්හි නොදැමුනවුන් දමනය කරන්නාවූ, තුන් ලොවට පිහිටවූ, (දුක් නැතිකිරීමෙහි) සමත්වූ, නර ශ්‍රේෂ්ඨවූ තථාගත තෙම, ’’ඒ මැනවින් පතන ලද්ද ලබන්නෙහිය’’ යි පැවසූ සේක.
’’මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නාහ.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදිවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රී වූ, නම්න් ’’නන්දා’’ නම් ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නෙහිය.’’
’’එකල්හි එය අසා ප්‍රමුදිතව, දිවි ඇතිතාක් විනායකවූ බුදුරජුන්හට මෙත් සිත් ඇත්තී (සිව්) පසයෙන් පරිවරණය කෙළෙමි.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
’’මම ඉන් චුතවූවා යාම දෙව්ලොවට ගියෙමි. ඉන් තුෂිත දෙව්ලොවට ගියා, එතැනින් නිර්‍මාණරතියටද, ඉන් (චුතව) වශවර්ති (දිව්‍ය) පුරයටද (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’එම කර්‍මයාගේ බලයෙන් යම් යම් තැනක උපදිම් නම් ඒ ඒ තන්හි රජවරුන්ගේ මෙහෙසිබව කෙළෙමි.
’’ඉන් චුතව මිනිසත් බැව්හි සක්විති රජවරුන්ගේද, මණ්ඩලීක රජවරුන්ගේද මෙහෙසිබව කෙළෙමි.
’’දෙව් මිනිස් දෙගතියෙහි සම්පත් අනුභවකොට හැමතන්හි සුව ඇත්තීව බොහෝ කල්පයන්හි සැරිසැරීමි.
’’අන්තිම භවය පැමිණි කල්හි මම අතිමනොඥ කපිළවස්තු නගරයෙහි සුදේධාදන රජුගේ නොගරහන ලද්දාවූ දියණියක් වීමි.
’’සිරිකත වැනිවූ රුවැති (මා) දැක එම කුලය ප්‍රීතිමත් වූයේ විය. එහෙයින් මාගේ නම සුන්දර යන උප පදය සහිත ’නන්දා’’ (සුන්‍දර නන්දා) නම් විය.
’’එම රම්‍යවූ නගරයෙහි යසෝධරාව හැර සකල යෞවනියන් අතුරෙහි කල්‍යාණීයයිද ප්‍රකටවූවා,
’’(මාගේ) දෙටු සහෝදර තෙමේ තිලෝගුරු බුදුරජුය. එසේම බාල සහෝදර තෙමේද රහතෙකි. මම හුදකලාවූ ගිහිගෙහි වසන තැනැත්තියක්මි. මා විසින් (මෙසේ) මෙහෙයන ලද්දී වෙමි. (කෙසේදයත්?)
’’දුවණියෙනි, තී ශාක්‍ය කුලයෙහි උපන්නී, බුදුරජුගේ සොහොයුරිය වෙහිය. නන්‍ද කුමරුවන්ගෙනුදු වෙන්වූවා, කිම ගිහිගෙහි වසන්නෙහිද?
’’තරුණබව ජරාව කෙළවරකොට ඇත්තේය. රූපය අපිරිසිදුවූකැයි සම්මතය. නීරෝගබව රෝගීබව කෙළවරකොට ඇත්තේය. ජීවිතය මරණය කෙළවරකොට ඇත්තේය.
’’ශ්‍රී කාන්තාව හා එකට ගැටීමක් වැනිවූ, ආභරණයන්ගෙන් අලඞ්කාරවූ තීගේ මේ ශුභවූ රූපය සඳු මෙන් සිත් අලවනසුළුය. මනොඥය.
’’ලෙව්හි හරය පිඬු කරන ලද්දාක් මෙනි. ඇස්වලට රසඳුනකි. පුණ්‍යයන්ගේ කීර්තිය උපදවන්නකි. ඔක්කාක වංශය සතුටු කරවන්නකි.
’’(එම රූපය) නොබෝ කලකින්ම ජරාව අභිභවනය කරන්නේය. නොගරහනලද තරුණ බැව් ඇති කල්හිම ගිහිගෙය හැර ධර්‍මයෙහි හැසිරෙනු මැනව.’’
’’රූප යෞවනයෙහි ලොල්වූ මම මවගේ වචනය අසා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. (එය) කයින් පමණි. සිතින් නම් නොවේ.
’’මහත්වූ උත්සාහයෙන් ධ්‍යාන වැඩීමෙහි යෙදුනු මට මවු තොමෝ (එය) කිරීමට කියයි. මම එහි උත්සාවත් නොවූවා (වීමි.)
’’ඉක්බිති මහා කාරුණික බුදුරජතෙම කාමයෙහි ලොල්වූ මා දැක, රූපයෙහි කලකිරීම පිණි මාගේ ඇස් හමුවෙහි
’’ස්වකීය ආනුභාවයෙන්, දර්ශනීයවූ, අති මනොඥවූ, මටද වඩා සුරූපීවූ ස්ත්‍රියක් මැවූහ.
’’ඉතා විෂ්මිතවූ මම අතිශය විෂ්මයජනක ශරීර ඇති ඒ ස්ත්‍රී රූපය දැක, ’’මාගේ මිනිස්බවද, ඇස් ලැබීමද සඵලය’’ යි සිතීමි.
’’පින්වතිය, එනු මැනව. යමකින් ප්‍රයෝජන නම් එය මට කියනු මැනව. තීගේ නම්ගොත්ද, කලයද, ඉදින් තීගේ ස්වාමියාද (කවරෙක්දැයි) මට කියනු මැනවැ’’ යි මම ඇයට (කීමි.)
’’පින්වතිය, ප්‍රශ්න විචාරණ කාලය නොවේ. මා ඇකයෙහි හොවාගනු මැනව. මාගේ අවයවයෝ ගිලිහී වැටෙන්නාක් මෙනි. මොහොතක් (මා) සතපවනු මැනව.
’’ඉක්බිති එම සුරූපිනිය මාගේ ඇකයෙහි හිසකොට සයනය කළාය. (එසේ නිදන්නාවූ) ඇයගේ නළලෙහි ඉතා දරුණුවූ මකුළුවෙක් වැටුනේය.
’’එම මකුළුවාගේ වැටීම හා සමගම බිබිලි හටගත්තේය. (ඒවා) පිපුරුනේ, කුණුවූයේ, ලේ සැරව වැගිරුනේය.
’’පිපිරීගිය කුණුවූ දුගඳ ඇති මුඛයද විය. ඉදිමුනු, නිල්වුනු, සාරය වැගිරෙන සිරුරුද විය.
’’ඕතොමෝ වෙව්ලන සියළු අවයව ඇත්තී, නැවත හුස්ම හෙළන්නී, සිය දුක අඟවන්නී, බැගැපත්ව හැඬුවාය.
’’දුකින් දුඃඛිතවූවා වෙමි. වේදනාවෝ ස්පර්‍ශ කරති. මහ දුකෙහි නිමග්නවූවා වෙමි. යෙහෙලිණිය, මට පිහිටවනු මැනව.’’
’’තීගේ මුඛ ශෝභාව කොහිද? තීගේ උස්වූ නාසය කොහිද? තීගේ තඹවන් බිඹුපල වැනි තොල් හා තීගේ මුහුණ කොහි ගියේද?
’’සඳු වැනි වත කොහිද? වටවූ ගෙල කොහි ගියේද? ඔන්චිල්ලාවක් මෙන් එල්බෙමින් ලෙලදෙන තීගේ කන් දුර්‍වර්‍ණබවට පැමිණියේය.
’’පියුම් කැකුලකට බඳු (තන පුඩු ඇති), කුඹු වැනි (මහත්) පියයුරු පිපිරී ගියේ, කුණුව ගිය කුණපයක් වූයේ, දුඟඳ බවට පැමිණියේය.
’’සිහිනිඟ ඇති, පුළුලුකුලු ඇති (ඇය) ඉදිමී ගියාය. හටගත් වණ සහිත පව් ඇත්තීය. අශූචිභරිත වූවාය. අනේ! රූපය අශාස්වතය.
’’ශරීරයෙහි හටගත් සියල්ල කුණු ගඳය. භයානකය. යම් රූපයෙක්හි නුනුවණයෝ ඇලෙත් නම් (එය) සොහොනක් මෙන් පිළිකුල් කටයුතුය.
’’එකල්හි මාගේ සොහොයුරුවූ, මහා කාරුණික බුදුරජතෙම කලකිරුණු සිත් ඇති මා දැක මෙම ගාථාවන් වදාළ සේක.
’’නන්‍දාවෙනි, රෝගීවූ, අපිරිසිදුවූ, කුණුවූ ශරීරය දෙස බලනු මැනව. එකඟව සමාධියෙන් යුතුව අශුභය කෙරෙහි සිත වඩනු මැනව.
’’මේ කය යම් සේද, මේ (මළ තැනැත්තාගේ) කයද එබඳුය. මේ කය (උඩුකුරුව හෝනේ) යම්සේද, මේ (නොමළාවූ සත්ත්‍වයාගේ) කයද එබඳුමය. නුවණ නැතියවුන් විසින් පතන ලද (මේ කය) කුණුවූ දුඟඳ හමයි.
’’මෙය මෙසේ දිව රෑ දෙක්හි අනලසව බලන්නී, ඒ හේතුවෙන් සිය නුවණින්ම කලකිරී දක්නෙහිය.’’ (කියායි.)
’’ඉක්බිති මම සුභාෂිතවූ මෙම ගාථාවන් අසා අතිශයින් කලකිරුණී, එහි සිටියා, විදසුන් වඩන්නී රහත්බවට පැමිණියෙමි.
’’යම් යම් තැනෙක්හි හුන්නාවූ මම හැම කල්හි ධ්‍යාන පරායනවූවාද, එම ගුණයෙහි තුටුවූ බුදුරජතෙම මා එතදග්‍රස්ථානයෙහි තැබූ සේක.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් නන්‍දා ජනපද කල්‍යාණී භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නන්දාථෙරියාපදානං පඤ්චමං.