ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

3. කුණ්ඩල කෙසී වග්ග

6. සොණාපදානය

’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි සියලු දහම්හි පරතෙරට ගිය, කෙළෙස් සතුරන් දිනූ, පදුමුත්තර බුදුරජතෙම ලොව පහළවිය.

’’එකල්හි සිටු කුලයෙහි උපන්නාවූ, සුව ඇත්තාවූ, (ලෝවැස්සන් විසින්) පුදන ලද්දාවූ, ප්‍රියවූ (මම) එම බුදුරජුන් වෙත එළඹ මිහිරි වදන් ඇසීමි.

’’තථාගතතෙම භික්‍ෂුණියක්, ඇරඹූ වීර්‍ය්‍යය ඇතියවුන් අතුරෙන් අග්‍රයයි පැසසූහ. එය අසා ප්‍රමුදිතව, ශාස්තෲන් වහන්සේට සත්කාරකොට

’’එකල්හි සම්බුදුරජුන් වැඳ එම තනතුරු පැතීමි. මහාවීර තෙමේ අනුමෝදනය කළ සේක. (කෙසේද යත්?) තීගේ ප්‍රණිධිය සමෘද්‍ධ වේවා!’’

’’මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නාහ.

’’උන්වහන්සේගේ දහම්හි දායාදීවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රී වූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, නම්න් ’’සොණ’’ නම්වූ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නෙහිය.’’

’’එය අසා ප්‍රමුදිතව, එකල්හි දිවි ඇතිතාක් කෙළෙස් සතුරන් ජයගත් බුදුරජුන්හට මෙත් සිතින් (සිව්) පසයෙන් පරිවරණය කෙළෙමි.

’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)

’’දැන් අන්තිම භවයෙහි මම ශ්‍රාවස්ති නගරවරයෙහි සමෘද්‍ධවූ, සම්පතින් පිරුණාවූ, මහත් ධන ඇති සිටු කුලයක උපන්නී (වෙමි.)

’’යම් කලෙක්හි මම යොවුන් බවට පැමිණියා වීම්ද, (එකල්හි) වෙසෙසින් සුරූපීවූ පුතුන් දහදෙනෙක් වැදීමි.

’’සුවසේ මඩන ලද්දාවූ, ජනයාගේ නෙත් සිත් ඇද ගන්නාවූ, ඒ සියල්ලෝ සතුරන්හට පවා ප්‍රියයෝය. ඔවුහු මට ප්‍රියයෝයයි කියනුම කවරේද?

’’ඉක්බිති පුතුන් දස දෙන පෙරටුකොට ගත්තාවූ ඒ මාගේ හිමි තෙමේ මාගේ නොකැමැත්තෙන් බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදිවීය.

’’හුදකලාවූ ඒ (මම මෙසේ) සිතීමි. ’’වේවා, හිමියා හා දරුවන් විසින් හරනා ලද්දාවූ, අසරණවූ, වෘද්‍ධවූ මාගේ ජීවිතයෙන් කම් නැත.

’’යම් තැනෙක්හි මාගේ ස්වාමි තෙමේ පැමිණියේද, මමද එහි යන්නෙමි’’ යි මම මෙසේ සිතා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.

’’ඉක්බිති භික්‍ෂුණී අසපුවෙහි භික්‍ෂුණීහු එකලාවූ මා හැර, ’’දිය හුණු කරව’’ යි කියා ඔවා ඇසුමට ගියහ.

’’එකල්හි දිය ගෙනවුත් සැලියෙහි වත්කොට උදුනෙහි තබා හිඳගත්තී, ඉක්බිතිව සිත එකඟ කෙළෙමි.

’’ස්කන්ධයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, අනාත්ම වශයෙන්ද දැක සියළු ආශ්‍රවයන් සිඳ රහත්බවට පැමිණියෙමි.

’’එකල්හි භික්‍ෂුණීහු අවුත් දිය විචාළහ. තෙජො ධාතු (කසිණය) ඉටා වහා දිය හුණු කෙළෙමි.

’’විශ්මයට පත්වූ එම භික්‍ෂුණීහු බුදුරජුන්හට මෙම කරුණ ඇස්වූහ. එය අසා සතුටුවූ තථාගතතෙමේ මෙම ගාථාව වදාළ සේක.

’’කුසීතවූ ලිහිල් විර්‍ය්‍යය ඇති යමෙක් තෙම හවුරුදු සියයක් ජීවත්වන්නේ නමුදු, දැඩිසේ ඇරඹූ වීර්‍ය්‍යය ඇත්තහුගේ එක් දිනක් ජීවත්විමද ශ්‍රේෂ්ඨය.

’’මා විසින් මනා පිළිවෙතින් සතුටු කරන ලද මහා මුනිවු තථාගත තෙමේ මා පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇතියවුන් අතුරින් අග්‍රයයි වදාළ සේක.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

මෙහි මේ අයුරින් සෝණා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

සොණාථෙරියාපදානං ඡට්ඨං.