ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

1. සුමෙධා වග්ග

3. මණ්ඩක දායිකාපදානය

’’කෝණාගමන බුදුරජුන්හට මා විසින් මණ්ඩපයක් කරවන ලදී. ලොවට හිතවූ බුදුරජුන්හට නිතර (නියමිත වාරයන්හිදී) තුන් සිවුරු දුනිමි.

’’නියම්ගමය, රජදහන්ය යන යම් යම් දනව්වකට යෙම්ද, (ඒ) හැමතන්හි පුදන ලද්දී වෙමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

මෙහි මේ අයුරින් මණ්ඩකදායිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

මණ්ඩපදායිකාථෙරියාපදානං තතියං.