ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

1. සුමෙධා වග්ග

8. සත්තුප්පල මාලිකාපදානය

’’අරණවතී නගරයෙහි ’’අරුණවා’’ නම් ක්‍ෂත්‍රියයෙක් විය. මම යම් ඒ රජකෙනෙකුගේ භාර්‍ය්‍යාවක් වීම්ද, (එම රජුගේ) පාදපරිවරණය කරමි.

’’එකල්හි මම දිව සුවඳවත්වූ උපුල් මල් සතක් ගෙන උතුම් පහයෙහි හිඳ මෙසේ සිතීමි.

’’මෙම මල්වලින් මාගේ හිස සැරසීමේ කවර ප්‍රයෝජනයක්ද? මාගේ බුද්‍ධ ශ්‍රේස්ඨයන් වහන්සේගේ (සර්‍වඥතා) ඥානයට පිදීම (එයට වඩා) උතුම්ය.

’’යම් කලෙක්හි සම්බුදුරජතෙම වඩින්නේද, (එකල්හි) මම (මෙම මල්) (එම) බුදුරජුන්හට පුදන්නෙමැ’’ යි තථාගතයන් (පැමිණෙනු) බලාපොරොත්තු වන්නී, දොරටුව අසල හුනිමි.

’’බබලන්නාවූ කුඹුක් ගසක් මෙන්ද, කෙශර සිංහ රාජයෙකු මෙන්ද, බුදුරජතෙම භික්‍ෂු සංඝයා සමග (එම) වීථියෙන් පැමිණි සේක.

’’ බුදුරජාණන් වහන්සේගේ රශ්මිය දැක සතුටුවූවා, (ප්‍රීතියෙන්) උදම්වූ සිත් ඇත්තී, දොරටුව හැර (එම) බුද්ධ ශ්‍රේෂ්ඨයන් පිදීමි.

’’අහසෙහි විසුරුවන ලද උපුල් මල් සත තථාගතයනට වියනක් (මෙන්) කරන්නාහු, එම පුෂ්පයෝ මස්තකයෙහි දරත්.

’’ඔදවැඩි සිත් ඇත්තී, සොම්නස්වූවා, හටගත් ප්‍රීති ඇත්තී, බඳැදිලි ඇත්තී, මම එහි සිත පහදවා තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

’’මාගේ මුදුනෙහි මහනෙල් මල් වියනක් දරත්. දිව සුවඳ පතුරුවමි. උපුල් මල් සතක් (පිදීමෙහි) මේ විපාකයයි.

’’කිසියම් කලෙක්හි මාගේ නෑ සමූහයා විසින් (මම) කැඳවාගන යනු ලබන කල්හි මාගේ පිරිසද (ඒතාක්) මට නිල් (වියනක්ද) දරනු ලැබේ.

’’දෙව්රජුන් සත් දෙනෙකුගේ මෙහෙසිබව කරවීමි. හැමතන්හි අධිපතිව, ඇත්තීව කුදුමහත් භවයෙහි සැරිසරමි.

’’තෙසැටක් සක්විති රජවරුන්ගේ මෙහෙසිබව කරවීමි. සියල්ලෝ මා අනුව පවතිත්. පිළිගතයුතු වචන ඇත්තියක්ද වීමි.

’’මාගේ වර්‍ණයද උපුල් මලක වර්‍ණයට බඳු විය. (එසේම උපුල් මලකට බඳු) සුවඳද හමයි. දුවර්‍ණ බවක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’(සතර) ඎද්‍ධිපාදයන්හි දක්‍ෂවූවාය. (සප්ත) බොධ්‍යඞ්ග භාවනාවෙහි ඇළුනාය. අභිඥාවන්හි තෙර පැමිණියාය. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’(සතර) සතිපට්ඨාන ධර්‍මයන්හි දක්‍ෂවූවාය. චිත්ත සමාධියට ධ්‍යානය ගෝචර වූවාය. (හෙවත් සමාධියෙන් ලබන ලද ධ්‍යාන බල ඇත්තීය.) (සතර) සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙහි යෙදුනීය. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’(මා විසින්) (ප්‍රඥා) ධුරය උසුලන මාගේ (කායික, චෛතසික) වීර්‍ය්‍යය නිර්‍වාණාභිමුඛව පමුණුවනු ලබන්නේය. (මාගේ) සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් (සසරෙහි) නැවත ඉපදීමක් නැත.

’’මින් (පෙර) එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂපදානයිගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

මෙහි මේ අයුරින් සත්තුප්පල මාලිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

සත්තුප්පලමාලිකාථෙරියාපදානං අට්ඨමං.