ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
1. සුමෙධා වග්ග
7. කටච්ඡුභික්ඛා දායිකාපදානය
’’මම පිණ්ඩචරියාවෙහි හැසිරෙන්නාවූ, ශාස්තෘවූ තිස්ස නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට සැන්දක් පමණවූ භික්‍ෂාව ගෙන දුනිමි.
’’ශාස්තෘවූ, ලෝකනායකවූ තිස්ස බුදුරජතෙම (එය) පිළිගෙන මට අනුමෝදනා දම් දෙසුම කළ සේක. (කෙසේදයත්?)
’’සැන්දක් පමණවූ භික්‍ෂාව දී තව්තිසා දෙව්ලොවට යන්නෙහිය. සතිස් දෙව්රජ කෙනෙකුට මෙහෙසිබව කරන්නෙහිය.
’’පණස් සක්විති රජකෙනෙකුටද මෙහෙසිබව කරන්නෙහිය. හැම කල්හි සිතින් පතන ලද සියල්ලක් ලබන්නෙහිය
’’සම්පත් අනුභවකොට, (සියළු ධනය අතහැර දමන බැවින්) අකිඤ්චනවූවා, පැවිදි වන්නෙහිය. සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන, ආශ්‍රව රහිතවූවා පිරිනිවන්නෙහිය’’ (කියායි.)
’’ලෝකයෙහි අසහාය නායකවූ, ප්‍රාඥවූ තිස්ස බුදුරජතෙම මෙය වදාරා අහසෙහි (යන) හංසරාජයෙකු මෙන් ආකාශයට නැංගාහ.
’’මා විසින් උතුම් දානයක් දෙන ලදී. දානමය යාග සම්පත් තොමෝ මැනවින් යජනය කිරීම හෙවත් දීම කරණ ලද්දීය. මම සැන්දක් පමණවූ භික්‍ෂාව දී, අචලපදයවූ නිවණට පැමිණියේ වෙමි.
’’මින් (පෙර) දෙයානූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භික්‍ෂා දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් කටච්ඡුභික්ඛා දායිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කටච්ඡුභික්ඛාදායිකාථෙරියාපදානං සත්තමං.