ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

1. සුමෙධා වග්ග

6. එකපිණ්ඩපාත දායිකාපදානය

’’බන්ධුමතී නගරයෙහි බන්ධුම නම් ක්‍ෂත්‍රියයෙක් විය. මම යම් (ඒ) රජකෙනෙකුගේ භාර්‍ය්‍යාව වීම්ද (එම රජු හා) එක් සිත් ඇතිව හැසිරෙමි.

’’එකල්හි මම රහසිගතව හිඳ මෙසේ සිතීමි. මා විසින් කරණලද (මැරෙනවිට) ගෙන යා යුතු කුශලයක් නැත.

’’(මෙසේ ඇති කල්හි) මහත් තැවුල් ඇති, කටුකවූ, ඝොර ස්වරූප ඇති, ඉතා දරුණුවූ නිරයට ඒකාන්තයෙන්ම යමි. මෙහි මාගේ සැකයෙක් නැත’’ (කියායි.)

’’මෙසේ සිතා රජු වෙත එළඹ මෙසේ කීමි. ’’රජතුමනි, මට එක ශ්‍රමණයන් වහන්සේ නමක් දෙනු මැනව. උන්වහන්සේ වළඳවන්නෙමි’’ යි (කියායි.)

’’මහරජතෙම මට වඩනලද ඉඳුරන් ඇති ශ්‍රමණයන් වහන්සේ නමක් දුන්නේය. (මම) උන්වහන්සේගේ පාත්‍රය ගෙන උතුම්වූ ආහාරයෙන් පිරවීමි.

’’මම උතුම්වූ ආහාරය පුරවා, සුවඳද ගැල්වීමි. දහසක් වටිනා වස්ත්‍ර දෙකකින්ද වැසීමි.

’’ජීවිතාන්තය දක්වා මෙම අරමුණ මම සිහි කරමි. මම එහි සිත පහදවා තව්තිසා දෙව්ලොවට ගියෙමි.

’’දෙව්රජුන් තිස් දෙනෙකුගේ මෙහෙසිබව කෙළෙමි. මාගේ සිතින් පතන ලද්ද සිත්වූ පරිදි පහළවේ.

’’සක්විති රජුන් විසි දෙනෙකුගේ මෙහෙසි බව කෙළෙමි. මම රැස්කරනලද පින් ඇත්තියක්ව වී භවයන්හි සැරිසරමි.

’’සියළු බැඳුම්වලින් මිදුණු මම මාගේ ස්කන්ධයන් නැවත ඇතිවීමේ හේතූන්ගෙන් වෙන්වූවා, ක්‍ෂය කරණ ලද සියළු ආශ්‍රවයන් ඇත්තී වෙමි. දැන් නැවත උපතක් නැත.

’’මින් (පෙර) එක් අනූවන කපෙහි වු එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිණ්ඩපාත දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

මෙහි මේ අයුරින් එකපිණ්ඩපාත දායිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

එකපිණ්ඩපාතදායිකාථෙරියාපදානං ඡට්ඨං.