ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

1. සුමෙධා වග්ග

5. නළමාලිකාපදානය

’’එකල්හි මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරියක් වීමි. (එහිදි) සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් ජයගත්තාවූ, කෙළෙස් රජස් රහිතවූ නොහොත් කාමයන්හි නොඇළුනාවූ බුදුරජුන් දුටිමි.

’’මම පහන් සිත් ඇත්තී, සොම්නස්වූවා, හටගත් ප්‍රීති ඇත්තී, බඳැඳිලි ඇත්තී බට මලක් ගෙන බුදුරජුන්හට පිදීමි.

’’මැනවින් කරණලද එම කර්‍මය කරණකොටගෙන දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. සක් දෙව් රජුන් සතිස් දෙනෙකුගේ මෙහෙසි බව කෙළෙමි.

’’සක්විති රජුන් දස දෙනෙකුගේද මෙහෙසි බව කෙළෙමි. (ඉක්බිති) මාගේ සිත සංවේගයට පත්ව, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.

’’මින් පෙර සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

මෙහි මේ අයුරින් නළමාලිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

නළමාලිකාථෙරියාපදානං පඤ්චමං.