ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

23. ආලම්බනදායක වග්ග

2. අජිනදායක ථෙරාපදානය

’’මින් තිස්එක්වන කපෙහි මම ශාස්තෲන් ගරු කළ පිරිසෙහි කෙනෙක් වීමි. කෙළෙස් රජස් විරහිත, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ සිඛී බුදුරජුන් දිටිමි.

’’ලෝක බන්ධුවූ සිඛී බුදුරජුන්හට මා විසින් සම් කඩක් දෙන ලදී. විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, එම කර්‍මය කරණ කොට ගෙන,

’’මම සම්පත් අනුභවකොට කෙලෙස්ද දැවීමි. සම්බුදු සසුනෙහි (මේ) අන්තිම ශරීරයද දරමි.

’’මම මින් එක්තිස්වන කපෙහි යම් අඳුන් දිවි සමක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඳුන් දිවි සම් දනෙහි මේ විපාකයයි.

’’මින් පස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සුදායක නම් වූ සක්විති රජෙක් වීමි

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජිනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අජිනදායකත්ථෙරස්සාපදානං දුතියං.