ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

23. ආලම්බනදායක වග්ග

3. විරතනීය ථෙරාපදානය

’’මම පෙර මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. ලෝකයාගේ පූජාවන් පිළිගත්තාවූ, කෙලෙස්මල නැති බුදුරජුන් දිටිමි.

’’විපස්සී බුදුරජුන්හට මා විසින් මස් කැබැල්ලක් දෙන ලදී. මම (ඒ හේතුවෙන්) දෙවියන් සහිත ලෝකයෙහි ආධිපත්‍යය කරමි.

’’මෙම මස් දන කරණකොට ගෙන මට රුවන් උපදී. මේ රුවන් දෙක ලෙව්හි නිවන් ලැබීමට උපකාරීවේ.

’’මස් දනෙහි ශක්තිය කරණකොට ගෙන මම ඒ සියල්ල අනුභව කරමි. මාගේ ශරීරයද මෘදුය. සියුම් දෙය අවබෝධ කර ගත හැකි ප්‍රඥාවද වේ.

’’මින් එක් අනූවන කපෙහි මම යම් මස් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මස් දනෙහි මේ විපාකයයි.

’’මින් සිව්වන කපෙහි ජනාධිපතිවූ, මහත් බල ඇති මහා රෝහිත නම් වූ එක් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් විරතනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ද්වෙරතනියත්ථෙරස්සාපදානං තතියං.

දසමං භාණවාරං.